ඉස්කෝලෙ අපිව කෑව

ගම කියන්නෙ ඒකාධිකාරී සමාජ සම්මිශ්‍රණයක්..සාම්ප්‍රධායික ගමක් ඇතුලෙ මිනිහෙක්ගෙ හැසිරීමෙ ඉඳල කෑම බීම පවා ඒ සමාජයට අනුව වෙනස් කරන්න වෙනව..

ගමේ දිගටම ජීව වෙලා රස්තියාදුකාරයා,නිකමා කියන ලේබලේට සීමා වෙලා ඉන්නවට වඩා ගෙන්දගම් පොලොවෙ පස් පාගල කාපු කට්ට ගැන උජාරුවෙන් කියපු මිනිස්සුන්ගෙ පාරවල් වල යන්න හිතාගෙන ගමේ කොල්ලො කෙල්ලො ඔලු හෝදගෙන අලුත් බලාපොරොත්තු එක්ක සන්තෝසෙන් කට්ට කන්න කොලඹ යනව..

ඒක හරි සාම්ප්‍රධායික වගේම කාලයක් තිස්සෙ පැවත එන සිද්ධියක්..එහෙම කාලෙකට කලින් කොලඹ ගිය මගේ මිත්‍රයෙක් ගමේ ආව හැම වතාවකම ආ ගිය තොරතුරු කතා කරන්න සැදී පැහැදී මම මගේ මිත්‍රයව බැහැ දකින්න යනව..

වෙලාවකදි කොලඹ තිබ්බ නිදහසත් ගමේ ආවම ඩන්හිල් එකක් බොන්නත් ගමේ මිනිස්සු නැති පලාතකට යන්න වීමේ නිදහස කඩවීමේත් ඒ නිදහස ලබාගන්නට කරන්න වෙන කැපකිරීම් ගැනත් අපි හරි උජාරුවෙන් හිනාවෙවී කතා කරා..තවත් වෙලාවකදි දියුණුවේ යම් සීමාවක් දක්වා එනතුරු නොමැරි මැරීගෙන කන කට්ටත් එකී සීමාවෙන් පසුව කෑ කට්ට යට හැට්ටයක් දැක්කත් ප්‍රාණික වෙන ශිෂ්ණයක් වගේ සුන්දරයි වගේ කියන විකාර රූපී උපමා රූපක එක්ක උස් පහත් හඬින් වෙලාවකදි සිනහවෙනුත් තවත් වෙලාවක බැරෑරුම් විදිහටත් අපි ජීවිතේ ගැන,සමාජෙ ගැන,කාණ්තාව ගැනත් කතා කරා..

"ඉස්කෝලෙ මාව කෑව"

 එක්තරා කතාබහක් මැදදි මගේ මිත්‍රය බැරෑරුම් විදිහට එහෙම කතාවක් කිව්ව එක ගැන මම කල්පනා කරා.මම මගේ මිත්‍රයගෙන් ඒ ගැන ප්‍රශ්ණ කරා..සාමාන්‍යෙයෙන් ඔහු මටත් මට ඔහුටත් කියන්න බැරි දේවල් තිබුනෙ හරි අඩුවෙන්..අපි අපේ මිත්‍රත්වය ඇතුලෙ හොඩනගාගනිපු තේරුම්ගැනීමේ හැකියාව ඒකට හේතුවක් වෙලා තිබුන කියල අපි දෙන්නම දැනගෙන හිටිය..

"එක්තරා සර් කාරයෙක් හිටිය..ඕලෙවෙල් කාලෙ මිනිහ මම ඔරවනව කියල මට දැක්ක දැක්ක තැන ටොකු ඇන්න..ඕලෙවෙල් කරද්දි කොණ්ඩෙ කැපුවෙ නෑ කියයි රෙද්ද හරි නෑ කියයි එක එක හේතු වලට ඉස්කෝලෙන් එලියෙ තිව්ව"

බැරෑරුම් ස්වරයෙන් මොකක්දෝ පසුතැවීමක් එකතුවෙච්ච කතාවක් හිරිකිතක් නැතුව ඔහු මගේ ඉස්සරහ ලිහල දැම්ම..

"ඒ කාලෙ ඒක හරි වේදනාවක් මල්ලී..අපිට ඕන උනේ උන්ගෙන් පලිගන්න..හැබැයි එහෙම කරන්න ගිහින් අපිට හරිගියා කියල කියන්නත් බෑ..දැන් තමයි බං අපිට තේරෙන්නෙ ජීවිතේ එක්තරා කාලෙක කරන්න ඕන දේවල් ඒ විදිහට කරානම් අපිට ගුටිකන්න වෙන්නෙත් නෑ..හැබැයි ඉස්කෝලෙන් කියපු විදිහටම හිටිය කියල අපිට හරියන්නෙත් නෑ..අපේ ඉස්කෝලෙ හිටියෙ හරි ප්‍රාථමික ගුරුවරු බං.උන් ප්‍රාථමිකයි කියල තේරෙන්නෙ අපි උන්ට වඩා දෙයක් සමාජෙන් ඉගෙනගත්තම.."

මගේ මිත්‍රය මට මල්ලී කියල කතා කරන්නෙ සංවේදී වෙන වෙලාවට කියල මම හොඳටම දැනගෙන හිටිය..එදා බොහොමයක් කතා අපි දෙන්න අතර සිදුවෙලා තිබුනත් ගෙදර ඇවිල්ලත් මගේ හිතේ තිබුනෙ ඉස්කෝලෙ ගැන කතාව..

මම පහුගිය දවසෙ දැක්ක රටේ දැන් පවතින තත්වයත් එක්ක ඉස්කෝලෙක ළමයින්ට විනිවිද පෙනෙන බෑග් ගේන
එක අනිවාර්‍ය කරල..එහෙම නොගෙනාපු ළමයින්ට දඬුවම විදිහට බෑග් එක එලියෙ තියල පොත් ටික අතේ අරගෙන ඉස්කෝලෙ ඇතුලට යන්න වෙලා...



ළමයි කියන්නෙ නීති දාල බලෙන් හික්මවන්න පුලුවන් කියල හිතන් ඉන්න ගුරුවරු ඉන්නව ඇති..බහුතරයක් එහෙම ගුරුවරු අමානුශීය නීති වලට ගැලපෙන අමානුශීය දඬුවම් ක්‍රියාත්මක කරනව ඇති..ළමයින්ගෙ හොඳට කියල ක්‍රියාත්මක කරවගන්න ඒ නීති නිසා අහිංසක රටේ අනාගතය මානසිකව වැටෙනව කියල ඇති..

ළමයි කියන්නෙ ළමයින්ට එයාල මල් වලට උපමා කරල දවසක පරවෙලා යනවට වතුර ඉහින ගුරුවරු ළමයින්ව නොමර මරනව..සමහර මල් පිපෙන්න කලින් පුප්පනව..ළමහෙක්ව බලෙන් හික්මවන්න පුලුවන් කියල හිතන් ඉන්න පාහර ගුරුවරු කියන්නෙ රටට පිළිල..අපේ කාලෙත් එහෙම ගුරුවරු හිටිය..ඊට කලිනුත් දැනුත් එහෙම අය ඉඳීවි ඉන්නැති..ගුරුවරයා දෙවිවරයෙක් කියන්නෙ ළමයාව තේරුම් අරගන්න ඒ ලමයගෙ අධ්‍යාපනික වගේම අධ්‍යාත්මිකවත් ඉදිරියට යන්න උදවු කරන කෙනාට මිසක්..හවස් වරුව නිකන් ඉන්නත් ඉස්කෝලෙ නිවාඩු කාලෙදි නිවාඩු පාඩුවෙ ඉන්නත් පුලුවන් නිසා රස්සාවට ආපු අයට නෙවෙයි කියල ගුරුවරයා වගේම අපිත් මතක තියාගන්න ඕන..

බහුතරය සාම්ප්‍රධායිකව වේවැල කරේ තියාගෙන උඩු රැවුල වවාගෙන බඩ ඉස්සරහට දාගත්ත සැර පරුශ ගුරුවරු වෙන්න ඕන කියන මානසික මට්ටමේ ඉන්න ගුරුවරු අපිට කැම්පස් එකෙන් එහා ලෝකයක් ගැන හීන පෙන්නුවෙ නෑ..ළමයෙක්ට හැබෑකරගන්න බැරි ෆැන්ටසි හීන ලෝක වල අතරමං කරන පාහර පිලිල ගොඩක් ඉස්කෝල වල වැහි වැහැල..සමහර ගුරුවරු අපිට දිලිසෙන වාහන වල යන්න අපි ඔක්කොම ඉන්ජිනේරුවො කරන්න හැදුව.ඉන්ජිනේරුවෙක් වෙන්න බැරි මනුස්සයට දිලිසෙන වාහන හීන දකින්න නොදී ඇස් වැහුව..

ඉස්කෝලෙ මෙහෙවර ලොකුවට තාප්පෙ ලියල තිබුනෙ රටට දැයට වැඩදායී පුරවැසියො බිහි කරන්න ඕන කියල ඒත් ඉස්කෝල වලට ඕන උනේ උගත්තු..ඉස්කෝල වලට ඕන උනේ ළමයින්ව කම්පස් යන්න..ඉස්කෝල වලින් ඉගැන්නුවෙ කැම්පස් යන්න..රටට දැයට වැඩදායී වෙන්නෙ කැම්පස් යන උන් විතරයි කියල ළමයින්ගෙ ඔලුවල තිබුන..සමහරු කැම්පස් යන්න බැරි නිසා උන්ගෙ වටිනාකම දන්නෙ නැතුව අසරණ උනා..වටිනාකමක් නැති මිනිස්සු විදිහට ඉස්කෝලෙන් පිට උනා..නොවටිනා මිනිස්සු රස්තියාදුකාරයෙක් විදිහට ගමේ උන් නම් කරා..එහෙම එවුන්ගෙන් මොලේ තියන උන් උන්ගෙ වටිනාකම ගමෙන් ගිහින් හරි හොයාගත්ත..අන්න එහෙම උන් අන්තිමට කියනව

"ඉස්කෝලෙ අපිව කෑව" කියල...

ඇත්තටම ඉස්කෝලෙ උන්ව කාල..එහෙම නොවුනනම් ඉස්කෝලෙන් උන් පිටවෙන්නෙ වටිනාකමක් නැති උන් වගේ නෙවෙයි අලුත් බලාපොරොත්තු එක්ක..

#කුරුස්




Post a Comment

2 Comments

  1. තවත් හොඳ ලිපියක්. මීට සමාන අත්දැකීම් අසම්මත සටහන wordpress අඩවියේ දුටුවා පාසල් මාතාව නැමැති භයානක ගැහැනියගෙන් ඔබේ දරැවා බේරා ගන්න මැයෙන්. මටත් හිතෙනවා මගේ අත්දැකීම් ගැන මෙවැනි ලිපියක් ලියන්න.

    ReplyDelete