තෙවසරකට පසු



ගිණි කාශ්ඨකේ උඩුකය නිරුවතින් දූවිලි නාපු,පෙකනි වැලත් ගෙදරදි කපපු පොඩි එවුන්ද.,නිරුවත් දෙපයෙ කොරල වල තැවරුණු දූවිලි වතුර බිංදු වලින් හැඩකරපු ගැහැණු පිරිමිද..පැලුණු විලුඹක වේදනාව උහුලගෙන ප්‍රියයන්ගේ වෙන්වීම වෙනුවෙන් නිදි වර්ජිතව දුක් වෙච්ච ඇස් යට කලු කරගත්ත ගෑණුද...කෙහෙල් වතුවල වැඩ කරන කාශ්ඨක අවුවට කලු නොවුනු සුදු සමත් නොවැහැරුණු පංච කල්‍යාණියත් එක්කාසු කරගෙන එකාමෙන්ම සංග්‍රහ කටයුතු කරන කෙල්ලෝත් මේ සූරියවැව ගමේ මලගෙදර නන්නාදුරන මිනිස්සු දුක් වන දිහා හැඟීම් විරහිතව බලා සිටින මගේ නෙතට යම් ප්‍රියයකුත් අප්‍රිය බවකුත් අතරමැදි පිනවීමක් ගෙනදුන්නාට සැක නැත..ගමේදී කන් දෙකෙන් දුම් දාන ග්‍රීස්ම කාලයක්නම් හවසට වැසි වැටෙනවා නිසැකය..එහෙත් මෙහේදී ඒ කල්පිතය පුස්සක් බව පිටගම්මුන් මලගෙදර කරන කතාවලදී මට ඇසී තිබුනි..හැඳ සිටි කමීසය මදක් ඔසවා ඉහල බොත්තම් දෙකක් විවර කර පපුව පාදාගෙන එහෙන් මෙහෙන් එන හුලඟ මා පපු තලා මත වැතිරවන්නට පිඹි සුසුමකින් සැනසි සැනසී නන්නාදුරන දිහාවක නෙතින් නෙත ගැටෙමින් සිටීම අසීරුය..

මා පැමිණියේ මාගේ මාමනුවන් සමග ඔහුගේ රියදුරු ලෙසය.මා එතනින් එහාට යන්නේ කොහේදැයි එන්නේ කීයටදැයි විමසූයේ නැත..ඒ තරමට මාමාගේ මත මා විශ්වාසය ලියා පවරා දී ඇත..වරුවකින් අඩක් ගෙවී ගොස් ඇත,එක තැනක සියඹලා ගසක් යට පුටුවක් තබා හිඳගත් වැඩිහිටියෙක් බුලත් විටක් කන අතර තවත් තැනක ගැහැනුන් ටිකක් ඉහ නිකට අත් තබා කරනා කතා බහකි තවත් තැන් තැන් වල කණ්ඩායම් ගැසුනු උදවිය කාඩ් සෙල්ලමින් හා වචන සෙල්ලමින් එකිනෙකාගේ ආගිය කතාද උකුළු මුකුළුද එකිනෙකාගේ මතවාදයන්ද අලලා කතාබස් ය..එතනින් එහාට කෑම පිලියෙල කරන්නට අටවාගත් මඩු පොඩිත්තකි..එහි ඇතුලත හරි හරියට වැඩ කරනා ලමයාගේ සිට මහල්ලා දක්වා නියෝජනය කරන සුලු පිරිසකි..නිහඬව මේ සියල්ලටම නෙත් යොමා රසවිඳිමින් සිටි මා නෙත එක්තරා තැනක අගුලු ලා නැවතී හිත අතරමං කරවුනි...

සත්තකින්ම මේ ඇයය..තුන් අවුරුද්දකට පසුත් ඇයගේ රූපය හිතේ මැකී ගොස් නැත..එදා වාගේම ඇය මට වඩා ලස්සනය..හදවතේ විදුලි කොටද්දී..බඩගින්නට ගෝඩා බිව්වාක් සේ බඩ පපුව ගිනිලද්දී මම තවත් සුපරික්ශාකාරීව ඇය දෙස බැලූයෙමි..එකිනෙකා නොහඳුරන තැනක ඇයව අමතා මා කෙරේ අනෙකාගේ අවධානය ලබාගැනීම එතරම් සුදුසු නැත..නමුදු ඒ ඇයමදැයි නැවත නැවතත් සිතේ තිබූ සැකැය හැරදමා දැනගත යුතුය..

මා ඈ දෙස සිටි අවදානයම රඳවාගෙනම සිටියෙමි..බලාපොරොත්තු වූ අහම්බය උදාවී නෙත් පැටලුනි,පැටලී වෙලුනි,වෙලී තනිවුනි සැඳෑවට පෙර කලුවරින් වැසුනු අතීතයක සුවඳ මට මෙන්ම ඇයටද ඒ මොහොතේ මේ වියලි පොලෝ තලයට හමන සුලඟේ දැනෙන්නට ඇත..යන්නට ගිය ගමන නවතා පැටලුනු ඇස් ලිහාගෙන යනගමන් නැවතත් එකී සුවඳ ඉඹින්නට මෙන් හැරී බැලුවේ ඒ නිසා විය හැකිය..

එතැන් පටන් මා නෙත් සෙවූයේ ඇයමය..හොරෙන් කතා කියමින් සිනහසෙන කෙල්ලෝද..එහෙ මෙහෙ දුවමින් සෙල්ලම් කරනා පොඩි එවුවෝද ලඟ නෙත නොනැවතී ඇයව සෙවූයෙමි..

මගේ ආදරය සේම මා සතු නොවූ සියල්ලම මීට සිවු වසරකට පෙර නුඹට බාරදුන්නා මතකය..එසේම මා සතු නොවූ නුඹේ නිදහස,නුඹේ ආදරය සේම නුඹද යලි මගෙන් නුබ අරගෙන ගියා මතකය..තෙවසරකට පෙර එකී මතකයන්ගෙන් විඳි දුක් ගැහැටෙන් තැලුණු යකඩයක් සේ ශක්තිමත් ව සිටි මම අද නුඹව බලාපොරොත්තු නොවූ ලෙස දැකීමෙන් රත් කර යකඩයක් වතුරට දැමූවාක් සේ හදවතෙහි පන සමනය වූවාක් සේය..

එසේ නුඹව සොයා තෙහෙට්ටු වූ ඇස් දෙක බිමට හරවාගෙන කර කල්පනාව අතරතුර නුඹ මගලෙදර ගුරුපාර දිගේ ඇදෙනවා අහම්බෙන් දුටිමි..ඇයව කෙසේ හෝ හමුවිය යුතුය..අහේතුවකට වෙන්වූ හේතුව දැනගත යුතුය..එකී අරමුණෙන් මම මෝටර් රථය පනගන්වාගෙන ඇය ගිය ගුරුපාර දිගේ ඇදුනෙමි...මද දුරකින් ඇය ලඟින් නැවත්වූයෙමි...

"නගින්න"

හිස් වූ ස්වරයෙන් මා පැවසූ පරක්කුවෙන් ඇය පාර දෙපස විපරම් කරාය..මේ පාර මෝටර් රථ වලට අයිති නැත..ගෙදරක අනිවාර්යය අවශ්‍ය වූ අත්ට්‍රැක්ටරයත් මෝටර්සයිකලයත් හැරුණුකොට මේ පාරවල් අයිති බයිසිකල් වලින් පාසල් යන කුඩා ලමයින්ටය හැන්දෑවට ඇලට යන දාඩිය ගඳ පිරිමින්ටය..අත්පටලන්නට ලැජ්ජාවෙන් පාර දෙකොනේ ඇස් වලින් දොඩ දොඩා යන පෙම්වතුන්ටය..

ඉතිං අපිට අයිති නැත අනුන්ගේ පාරක අපිට අයිතිවාසිකම් කියන්නට බැරි අපිට ගමන් කරන්නට අවශ්ට වටපිටාවක් ඇතැයි සිතූ ඇය ගොඩවුනු පසු යලිත් රථය ඔහේ ඇදෙන්නට විය

"කොහෙද යන්නෙ"

වෙවුලන ස්වරයෙන් තොල් පටලා ඇය අහද්දී මම ඇය දිහා බැලුවෙමි..නලලට වැටුනු කෙස් රොදක් දහඩියෙන් තෙමී මූණට ඇලී අමුතු ලස්සනක් තිබුනි..මම නිශ්ෂබ්දව ඉදිරියට ඇදෙන රිය ගෙනගියෙමි..

"ඇළ ගාවට යමු"

මාගේ නිශ්ෂබ්දතාවය ඇය මා කෙරේ තැබූ විශ්වාසය පලුදුකරාක් සේ ඇය මට අණකොට ඇල ලඟ නතර කරවිය..

අහන්නට දාහකුත් ප්‍රශ්ණ ඇත..එහෙත් ඇයද මමද මදක් යනතුරු නිශ්ෂබ්දය..

"කොහෙද යන්න ගියේ"

මම නිශ්ෂබ්දතාවය බින්දෙමි..නමුදු ප්‍රෂ්ණයට මට ලැබුනේද ප්‍රශ්‍ණයකි

"ඔයා කොහෙද මෙහේ"

"මාම එක්ක මලගෙදර ආව"

ඇයටද මටද නුහුරු කතාවකි,දෙදෙනාම සිටින අපහසුතාවය දෙදෙනාටම තේරුම්ගත හැකිය..

"වෙච්ච දේවල් වෙලා ඉවරයි..ඉන්න තැනක හොඳින් ඉන්න..මං යනව"

බලාපොරොත්තු බැඳගත් මොහොතක කඳුලු වේලුණු දෑසින් මම දෙස බලා නොබලා වචනයෙන් පහර දුන් ඇය ඉදිරියට ඇදුනි..

මට ඇයව නවතන්නට උවමනාවක් නැත..ගිය ඇයව සොයන්නට ගත් උත්සාහයෙන් අවුරුදු තුනක් පුරාවට තෙහෙට්ටු වී ජීවිතයේ ප්‍රේමයක් ගැන තිබූ බලාපොරොත්තු ගිලිහී ගොස් තිබුනි.ඇය ගැන තිබූ ආදරය මගේ පමණක් වී සුරැකී තිබුනි..එය ඇයට යලි ලබානොදීම රැකගන්නට අවශ්‍ය වූ නිසාවෙන් ඇයව නොනැවැත්වූයෙමි..ප්‍රේමය මියදුනු හදවතකින් යුතුව මා ඇල අයිනේ ගස් සෙවනේ හිඳගතිමි..

ජීවිතයම ප්‍රේමයක් වූ ආරම්භයත් ප්‍රේමය ජීවිතයේ එක් කුඩා කොටසක් පමණක් වූ අවසානයකත් පිලිවෙලින් තිබූ අත්දැකීම් වලින් කොතරම් ඉගෙනීම් තිබුනාදෝයි වූ කල්පානවක අතරමන් වුනෙමි..

නිමි.

#කුරුස්

Post a Comment

0 Comments