කොළඹ කතා
පාවෙන වෙලඳපොල මැදියමේදී නිහඬය..හදිස්සියෙන් ඇහෙන බස් රථ නලාවකුත් මැනිං වෙලඳපොලේ එලවලු ගෙනයන්නට හෝ රැගෙන ආ වාහනයක හඬකුත් අතරින් පතර ඇහෙන නාට්ටාමිලාගේ හඬවලුත් නැතිනම් මේ මොහොත 'පට්ටම බෝරින්' වන්නට බොහෝ ඉඩ තිබුනාට සැක නැත උස් මිටි කියා මිනිසුන් මේ අලුයමේ පිටකොටුවේ සිටියේ නැත..එකිනෙකාගේ මුහුනට එබෙන්නට තරම්වත් වීදි ආලෝකයක් නැති වීදියේ අපි සැවොම සමානාත්මතාවයේ පහස විඳිමින් සිටියෙමු..බස් නැවතුම්පොල ආසාන්නයේ පෙට්ටි කඩයකින් ජෑම් තැවරූ පාන් පෙති දෙකකිනුත් කිරි කහට එකකිනුත් කුස පුරවාගෙන රාත්‍රියේ තොලගෑ මත් වතුර වලින් මතුවූ හිරි කඩා දැමූවෙමු..ඉක්බිත්‍තෙන් දෙදෙනාම පාවෙන වෙලඳපොලට පිටුපා හිඳගත්තෙමු..ඇතුගල මිත්‍රත්වයේ මධු සාදය අවසන් වී රාත්‍රී බසයක නැග කොටුවට ලඟාවුවද..ගමනාන්තය වූ බෝඩින් කාමරයට ලඟාවීමට බස් රථයක් නොතිබීම නිසාවෙන් මෙසේ හිඳගෙන නිදිකිරා වැටීමට දෙදෙනාටම සිදුවී ඇත..
මා 'කාලකණ්ණියෙකු' යැයි හංවඩුවැසූ ග්‍රාමීයත්වයෙන් මිදී මේ ගෙවන්නේ කීවෙනි මසදැයි ගනන් බැලීමට තරම් අවශ්‍යතාවයක් නොවුනි..මන්ද දැන් මා එකී ග්‍රාමීයත්වයෙන් මිදී ඇත..නමුදු මා තවමත් කාලකණ්ණියෙක්‍දැයි සැකයක් හිත කොනක ඉතිරි වී ඇත.කොලඹ ජීවිත් වූ අල්ප කාලය තුල එකිනෙකාගේ ක්‍රියාකලාපයන් නිසාවෙන් මා එසේ නොවේයැයි බොහෝ ඇසූ පිරූ තැන් නැති මට පත්‍යක්ශ වී තිබුනි..
මා මිත්‍රයාද නිදි බරිත දෑසින් හිස් හැඟීමෙන්ය..මමද එසේම ඔහු හා එකත්පසකට වූයේ බෝඩිමට යන දවසේ පලමු බස් රථයට තව හෝරාවකටත් වඩා කාලයක් තිබෙන නිසාවෙනි..මා මිත්‍රයා කතාවේ පරිනතයෙකි.ඉතිං ඔහු හා කැටුව පරිනත කතාබහකට මාතෘකා සොයන්නට මා වෙහෙස නොවීම ඔහු දෙස හිස් බැල්මෙන්ම බැලූයෙමි..
"බලහං අර කෙල්ල ඊයෙ රෑ අර මනුස්සය වෙනුවෙන් කොච්චර පාවිච්චි උනාද කියල නේ"
මා පෙරදා රාත්‍රියේ උත්සව සභාවේ කැපීපෙනුන සම වයස් යුවතියක් මාතෘකා කරගත්තෙමි..
"උබ දන්නවද දුප්පත්වෙලා ඉපදෙනව කියන්නෙ අනිවාර්යයෙන්ම මේ ජීවිතේ ඇතුලෙ කවුරු හරි අපිව පාවිච්චි කරනව.."
ඔහුත් මමත් ඉපිද ජීවත්වන දුප්පත් සමාජයේ සත්‍ය එසේමය..පොහොසතාගේ පෘඩත්වය දුප්පතාට සැලකීමනම් සැලකුම් ලබන්නා වූ දුප්පතා පොහොසතාගේ අතකොලුවක් වීම නිසැකය..පොහොසතාගේ මානුශීයත්වය ඔපදෑමට දුප්පතා පාවිච්චි වෙනවා නිසැකය..
මා ශිෂ්‍යත්වය සමත්වීම නිමිත්‍තෙන් මට පොත්පත් ලබාදුන් දේශපාලඥයා වෙනුවෙන් ගමේ වේදිකාවේ ගුණ වැයූ වාර අනන්‍තය..එකී මතකයන් පරිනත බුද්ධියේ ගැටීම තරම් වේදනාකාරී සිතුවිල්ලක් තවත් නැත..
"මල්ලි උඹට ගේමක් ගහන්න පුලුවන්..අපි එකතුවෙලා ගේමක් ගහමු..උබට මම හොඳට සලකන්නම්"
මාගේ කොලඹ සම්ප්‍රාප්තිය එකී වචන මත්තේ සිදුවිය..එයින් පසුවත් පුද්ගලයා හා වචන මාරු වුවද පෙර අරුත් දෙන කතාන්දර අනන්තවත් ඇසූයෙමි අනන්තවත් එකී බසින් රැවටෙන එවුන් ගැන දුටිමි..මගේ මිත්‍රයාගේ එවැනි අතීත අත්දැකීම් ඇසූයෙමි..දෙදෙනා සමග මේ රාත්‍රිය ඒ අත්දැකීම් ලෙහා නිරුවත් කරමින් පහන් කෙරූයෙමු..
ජීවත් වීමටනම් මනුශ්‍යත්වය අවශ්‍යයැයි කියූ දහම්පාසල් ඉගැන්වීම් මෙහෙට වලංගු නැත..මිනිසුන් හම්බ කෙරූ දේශසීමා වලට සීමා වූ මැරවරු ද එවුන් උසස්යැයි සිතාසිටින ප්‍රාදේශීය මැරවරයින්ද මෙහෙට වලංගු නැත..මුදල් ප්‍රමුඛ වූ ජීවන රටාවට අපිත් හුරුවිය යුතුය.එසේ නුවූ කල මෙහි ජීවිතය හිඟමන් යැදීම හා සමාන වීම ප්‍රත්‍යක්ෂය..
"මචං මේකෙ ජීවත් වෙනවනම් උබට ටැලන්ට් එක විතරක් තිබිල මදි කනෙක්ශන් තියෙන්න ඕන..සල්ලියි කනෙක්ශනුයි තියනවනම් මේක ඇතුලෙ ජීවත්වෙන එක හරි සිම්පල් දෙයක්"
එසේ රතු පෑනෙන් හිතේ ලියාතබාගත යුතු අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ වුවද වචනකරගන්නට නොහැකි වූ බොහෝ කතාන්දර මා මිත්‍රයා මට කියාදුනි..ඒ සියල්ල වචනකර තබන්නට යෑම තුල අපි දන්නා හඳුනනා සමාජයේ චරිත කිහිපයකගේම නම් ලියවීමේ හේතුව නිසාවෙන් නොලියා ඉදිරියට යමි..
ලමා කාලයෙන් පසු එකදු දිනයකවත් බස්රථයක ගමන් නොකෙරූ ඒසී වාහන වල අඩවන් කලු වීදුරුවෙන් ජීවිතයේ කටෝර බව දැක අකුරු කෙරූ මුහුනුපොතේ කවි කිවිඳියන්ගේ ප්ලාස්ටික් වේදනා කුරුටු ගී මා අනන්තවත් දැක ඇත..
එකී ගායනා වලට මාතෘකා වූ නාට්ටාමි අප්පච්චිලා කරත්තය උඩ සුව නින්දක යෙදීමද..යාන්තමට නිරුවත වසාගත් සරම් කැටිය අස්සෙන් අත දමා අංගජාතය සුවපත් කිරීමද දහවලේ සිඟමනේ යෙදුනු අයෙක් කොකේන් හෝ කන්සා පානයෙන් මත්ව ඉබාගාතයේ ඇදවැටී සුනකයින් සමග නිදාගැනීම් ද අප දෑස් ඉදිරියේදී පෙනෙද්දී අපි දෙදෙනාම උක්ත ගායනා වලට අනුකම්පා විරහිතව සිනාසුනෙමු..
එකී රාත්‍රිය අනුස්මරණීය..අකිනෙක සම්බන්ද වූ කතාබහට අනුරූපව කාලයාගේ ඇවෑමෙන් බස් රථය ගමන් ආරම්භ කරනා වේලාව පැමිනීම සියලු කතා අවසන් කර පස්සාපැත්තෙහි පාරවල් පමණක් ඉතුරු කරමින් හිඳගත් තැනින් නැගිටියෙමු..
-අසේල සම්පත්-
0 Comments